12/08/2009

මාධ්‍ය එල්ලා මිය යා යුතුව ඇත


වර්තමානයේ මිනිස් දිනචරියාවේ මූලිකාංගයක් බවට රූපවාහිනිය පත්වී ඇත. රූපවාහිනිය තරම් නොවූවත් තාමත් පුවත්පත, ගුවන්විදුලිය යන මාධ්‍යවලට මිනිස් ජීවන රටාවට යම් වෙනසක් කලහැකියැයි පැවසුවොත් එය අතිශයෝක්තියක් නොවේ.
ප්‍රවේශය ඇල් මැරුණු නමුත් දෙවරක් සිතිය යුතු මාතෘකාවක් පිළිඹඳ කතිකාවතක් ඇතිකිරීමටය. සිද්ධිය ලෙස මුලින්ම ගෙනහැර පානුයේ සිසුවියන් තිදෙනෙකු කනේරු ඇට කා සියදිවි නසාගැනීමය. එතැනින් කාවින්ද්‍යා ටයි පටියකින් ගෙල වැල ලා මියයන අතර එතැන්සිට සිසු සිසුවියන් මෙතෙක් නොවූ විරූ අයුරින් සිය දිවි නසාගෙන ඇත.
මින් පෙර අතරින් පතර මෙවැනි සිද්ධි පිළිබඳ වාර්තා වුවත් එක දිගට පසුකාලීනව මෙය දිගින් දිගට සිදුවීමට යම් හේතුවක් තිබිය යුතුය. අදාල හේතුව ලෙස මට පෙනීයනුයේ වගකීමකින් තොර වාර්තාකරණයයි.මෙය මුල් සිද්ධියේදී එතරම් දරුණු ලෙස කල එලි නොබැස්සත් කාවින්ද්‍යාගේ මරණය වාර්තාකරණයේදී නම් ඛේදජනක අන්දමට සිදුවිය.
කාවින්ද්‍යා මිය ගියේය. මගේ වෑයම ඇයව අපකීර්තියට පත් කිරීමට නොවේ. නමුත් මාධ්‍ය ඇයව ඉතා අසම්භාවී ලෙස පාරිශුද්ධත්වයට පත් කලේ කාවින්ද්‍යාගේ ගුරුන්ට එලව එලවා පහර දෙමිනි අද වන විට එහි තත්වය ගැන මාධ්‍ය හාංකවින්සියක් නොදනී. ඔවුන් දන්නේ සිය ප්‍රවෘත්තිය විකුණාගැනීමට පමණි.
ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් කාවින්ද්‍යාගේ සමවයස් සිසුන් තුල කාවින්ද්‍යා කල ක්‍රියාව නිරවද්‍ය වන අතර කාවින්ද්‍යා මාධ්‍ය විසින් සුද්ද කල ආකාරයට ඔවුන්ද මාධ්‍ය වෙතින් රැකවරණයක් බලාපොරොත්තු වේ. ඒ නිසා ඔවුන් සිය දිවි නසා ගනී. ලංකාවේ දරුවන් නිරමාණය වී ඇත්තේද එම විදිහටය ලංකාවේ අවුරුදු 15 යනු තනිව තීරණ ගත හැකි වයසක් නොවේ කොටින්ම අවුරුදු 15 දරුවෙකු යනු තාම බබෙකි.
ලංකාවේ දැනට මාධ්‍ය සදාචාරයක් නැත.ඇත්තේ මාකටිං සදාචාරයකි. එසේ නැතිනම් මම දන්න මාධ්‍ය සදාචාරය වෙන එකක් වීමට වෙන්නටද පුළුවන. එහිදීලා මාධ්‍ය ඉටුකරනුයේ සිය මාකටිං මෙහෙවාර මිස ඔවුන්ගෙන් සැබැවින්ම ඉටුවිය යුතු සමාජ මෙහෙවර නොවේ.මාධ්‍යයෙන් සමාජය බලාපොරොත්තු රජතුමාට කඩෙ යාම හෝ හුළඟ යන අතට රුවල ඇදීම නොවේ.මාධ්‍ය සැබැවින්ම අවශ්‍ය වනුයේ මනුෂ්‍යාගේ යහපත උදෙසාය.
තවදුරටත් මාධ්‍ය පවතින්නේ මේ ආකාරයට නම් සමාජය විසින් මාධ්‍ය එල්ල දැමීමට පෙර මාධ්‍ය එල්ලී හෝ කනේරු ඇට කා සියදිවි නසාගැනීම යහපති.

10/29/2009

අහසට වෙඩි තැබූ උණ්ඩය ඔලුවට පාත් වීම

වෙලාව 6.15 ට පමණ වන්නට ඇත. ඉර බහින වෙලාව සිරසට අනුව 6.26 ට යෙදී තිබුන නිසා හතර වටෙන් කළුවර වීමට පටන්ගෙන තිබුනි. මැණික් ෆාම්හි රාමනාදන් ගම්මානයේ සිට ආනන්ද කුමාරස්වාමි ගම්මානයට දර විකුණන්නට ගිය රැඳෙවියන් පිරිස නැවත පැමිණෙමින් තිබුණි. රාමනාදන් ගමෙන් වෙන වෙනම කොටස් වශයෙන් පිටවූ පිරිස නැවත පැමිණෙමින් තිබුනේ එකටය. ඔවුන් පිටව ගොස් ඇත්තේද වැටෙන් පැනලාය.පිරිස එකට එනවිට සැක සිතීමට ඉඩ ඇත එය සාධාරණය. ද්‍රවිඩ විමුක්ති කොටි ඉවරකරලා දැම්මම මුන් දිවි ටිකක්වත් වෙන්න හදනවද කියලා සැක සිතෙන්නට පුළුවන.මේ හේතුව නිසා අදාල පිරිස හා හමුදාව අතර වචන හුවමාරුවක් ඇතිවී ඇත. එකෙකු හමුදාවේ වීරෝදාර සෙබලෙකු වෙත අත් බෝම්බය දමා ගැසීමට උත්සාහ කිරීමේදී හමුදාව අහසට වෙඩිතබා ඇත. පිරිස පැන ගොස් සිය කූඩාරම්වල වැදී දොර වසාගෙන බුදියාගෙන වගේ සිට ඇත. පැනයාමේදී පය පැකිලී ඇද වැටී කාන්තාවක් කුඩා ලමයෙක් හා තවත් හයදෙනෙකු තුවාල ලබා ඇත.
උදය නනායක්කාරට අනුව සිදුවී ඇත්තේ මෙයය. එක අතකට මැණික් ෆාම්වල ඉන්නේ කොටිය නැත්නම් කොටින්ට කඩේ ගිය දෙමළ ජනතාවය. අවුරුදු 3 වයසැති දරුවාත්, පසුව වව්නියා රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුලත් කල 6 හැවිරිදි නිදර්ශිකාත්, කොටින්ට කඩේ ගිය දෙමව්පියන්ට ජාතක වී ඉපැදුනු නිසා රජ බිසවගෙන් ළමාදිනයේදී "කිස්" එකක් ලබාගත නොහැකිවූ පවින් හා දුවන එක හරියට දුවගන්න බැරිනිසා තුවාල ලැබීමට සිදුවිය.
මැණික් ෆාම්හි කලාප අංක 1,2, හා 3 තුල සිටිනුයේ යුද්ධයෙන් මුලින්ම පලා ආ වැසියන් හෙවත් "කොටි" භාවය අඩුම වැසියන්ය.රාමනාදන් හා ආනන්ද කුමාරස්වාමි ගම්මානද අයත් වන්නේ පෙරකී කලාපවලටය. මෙය සාපේක්ෂව අනෙක් කලාපවලට වඩා නිදහස් හා පහසුකම් වැඩි තත්වයක් පවතින කලාපයකි. එම නිසා රැඳවියන්ට කඳවුරු අතර සංසරණය වීමේ නිදහසක්ද පවතින බැවින් "දිවි" සෑදීමේ වැඩි සම්භාවිතාවක් පවතින්නේද උක්ත කඳවුරු තුලය.
ගංවතුර ගැලුවද, කූඩාරම්වලට වතුර දැම්මද, සිය නිදාගන්න පැදුර එම වතුරේ ගහගෙන ගියද, එම රැඳවියන් ඉවසාදරාගත යුතුය. හේතුව එක්කෝ ඔවුන් කොටින්ට කඩේ ගිය නිසාය නැත්නම් අඩියෙන් අඩිය බිම්බෝම්බ වල දමා ඇති නිසාය. මෙය බලන ඔබට, ලියන මට සහ අප මහා රාජෝත්තමයාණන් වහන්සේ ඇතුළු පරිවාර ඇමති මණ්ඩලය හා සකල විධ ජනතාවට දිනපතා හැදෙන වැසිකිලි යාමේ අවශ්‍යතාවයද සපුරාගත නොහැකිව වැසිකිලි වලවල් උතුරා ගියද ඔවුන් ඉවසා දරාගත යුතුය. ඒ පෙරකී කාරණා නිසාය.
මානව හිමිකම් කාරයින්ට පිස්සු හැදිලාය. උන් දන්න බම්බුවක් නැත. කොටි ටික හොයලා ඉවරයක් කරනකම් මැණික්ෆාම් වැසෙන්නේ නැත. සියල්ල සිදුවන්නේ ඕක ඇතුලේ ඉන්න එවුන්ගේ වැරැද්ද නිසාය. කොටි ටික අල්ලලා බාර දුන්නේ නම්, වැසිකිලි යනකොට කාපු ඔක්කම දැම්මේ නැතිනම්, නිදාගත්තේ නැත්නම් හා බිම්බෝම්බ වල දැම්මේ නැත්නම් කිසි ගැටළුවක් නැත.
අවශ්‍ය වනුයේ ජනතාව රඳවා තබා ගැනීමට නම් අඩුගණනේ ඔවුන්ට අවශ්‍ය මූලික අවශ්‍යතාවත් සපුරා ගැනීමට පහසුකම් සපයා දිය යුතුය. දැන් ඔවුන්ගෙන් එලි බහින්නේ කොටින් සමූලඝාතනය කල තරහා නොව මිනිසාට සිය ප්‍රාථමික අවශ්‍යතා නොමැතිවූකල පැනනගින ක්‍රෝධයයි. මෙයට විසඳුමක් නොයෙදුවහොත් ඊලඟට මෙය මීට වඩා දරුණු හා කලහකාරී ලෙස එලිබසිනු ඇත.

10/27/2009

කාලකණ්ණිකම


මගේ ජොකා හිල්වෙලාය.
ඉලාස්ටික් පවා එලියට පැනලාය.
ඒත්...................
මගේ ඩෙනිම අළුත්ය.

මගේ බයික් එක දිනපතා හෝදනවාය.
250 CBR එකක්ය.
ඒත්...........
දුවන්නේ භූමිතෙල් වලින්ය.

ඔරලෝඅසුව ROLEX ය.
අළුත්ම මොඩල් එකක්ය.
ඒත්...........
කටු දුවන්නේ නැතිය.

කතාව කඩ්ඩෙන්ය
කන්නේ පොෂ් කෑමය.
ඒත්.................
ඇඟේ දුවන්නේ ලේය...