9/27/2009

අහෝ දෙව්දත් නොදිටි මොක්පුර


ලංකාවේ ජීවත් වෙනවානම් ක්‍රම තුනකි.

  1. සිදුවන සියල්ල ගැන දැනුවත්ව මේක අපේ කරුමෙ මොනවා කරන්නද කියලා කටවහගෙන ඉඳීමය
  2. සිදුවන කිසිවක් නොදන්නවා වගේ ඉඳගෙන "ෂා මරු ඔක්කොම හොඳට යනවා" කියා පාරම් බෑමය.
  3. වෙන දේවල් ඔක්කොම බල බල ඉවසාගත නොහැකිව "හොරෙක් හොරෙක්" කියා බෙරිහන් දීමය.
  • පලවෙනි ක්‍රමය අනුගමනය කරන්නා බෙල්ලේ ලණුවක් හෝ රුපියල් සියයක මී පාසානන් කා නිර්වාණය සැපත් කරගනී.
  • දෙවන ක්‍රමය අනුගමනය කරන්නා දහසක් බැඳි පියලි ඇතුන් බරට හිමිකරගෙන දැහැමෙන් සෙමෙන් ආයු වළඳා පරලෝකප්‍රාප්ත වේ.
  • තෙවන ක්‍රමය අනුගමනය කරන්නා සුදු වෑන් එකක එන මාතලී විසින් දිව්‍ය ලෝකය වෙත රැගෙන යනු ලබයි.
අහෝ දෙව්දත් නොදිටි මොක්පුර........!

9/07/2009

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ


නඩු විසඳීම යන්න අපේ පැරණි රාජාණ්ඩු ක්‍රමය දක්වා ඈතට විහිදී යන්නකි. එහිදී රටේ තිබූ සෑම නඩුවක්ම රජතුමා විසින් විසඳිය යුතුවූ අතර රජතුමා හට නඩු විසඳීම හැර වෙනත් කාර්යක් නොතිබූ බැවින් රටේ සංවර්ධනය ඇමතිවරුන්ට බාර දීමට සිදුවිය.

1815 දී ලංකාවේ රාජ්‍ය පාලනය බිඳවැටෙන අතර ඉංග්‍රීසීන් ව්‍යවස්ථාදායකයක් අධිකරණයක් හා කළුසුද්දන් ටිකක් ඉතිරි කර නිදහස කියා එකක් අපට පටවා රට හැර ගියහ. කළු සුද්දන් ගැන වෙනම කතා කල යුතුව ඇති බැවින් එය මෙතැනට අදාල නැතැයි සලකා අත්හැර දැමූ විට ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතුරින් ව්‍යවස්ථාදායකය ගැන කතා කිරීම මගේ බෙල්ලටද තොන්ඩුව වැටීමට තරම් වැරැද්දක් වන නිසා එයද අතහැර දමා අධිකරණය ගැන කතාකිරීම වටින්නේ අධිකරණය ඇදහිය යුතු තරම් විභූතියක් මේ දිනවල පෙන්නුම් කරන නිසාවෙනි.

රාජ අධිකරණයක වැරදිකරු තීරණය වන්නේ රජතුමාට අවශ්‍ය අන්දමටය. චූදිතයා රජතුමාගේ තරහකරුවෙකුනම් අනිවාර්යයෙන් ඔහු නිවැරදිකරු වුවත් බෙල්ල ගහලා යෑම සාමාන්‍ය සිරිතයි. කැකිල්ලේ රජතුමා හැරුණු කොට මුග්ධ තීන්දු දුන් අවස්ථා එහෙව් රාජ ඉතිහාසයේ වුවද දක්නට ඇත්නම් ඒ ඉතාම අල්පයක් විය යුතුය.

ඉන්පසු ජනතාව ශිෂ්ඨාචාරගත වන අතර රජතුමා සංකල්පය හෑල්ලු වී ගොස් ලංකාව රෝම ලන්දේසි නීතිය වැළඳ ගැනීම සිදුවේ.උසාවිය ලංකාව තුල වැදගත් ආයතනයක් බවට පත්වන්නේ රාජාණ්ඩුවට සාපේක්ෂව එහි පැවති සාධාරණත්වය හේතුවෙනි. එහෙව් වූ ලංකාවේ උසාවිය හෑල්ලු වන්නේද අද ඊයේ නොවේ. ජෝන් කොතලාවලගේ "ගොයම් කොළේ" නඩු තීන්දුවේ පටන් උසාවිය හෑල්ලු වී ඇත. කතාවේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් වර්තමානයේ සිදුවන දේවල් අනුව එය බොරුවක් කියාද බැහැර කිරීමද කල නොහැක. එසේ ආරම්භ වන මෙම හෑල්ලු වී යාම ජනතාව තුල අධිකරණය කෙරෙහි පවතින්නාවූ විශ්වාසය නැත්තටම නැතිවී යන තත්වයකට පත්වීම දක්වා පහතට ඇදවැටීම අතිශය කණගාටුදායකය.

"තිස්සනායගම්" පවත්නා ක්‍රමය තුල බුදියගන්නන් හා බුදිය නොගන්නන් බොහෝ දෙනෙකු මේ දිනවල කතිකා කරන තේමාවක් වන අතර දින 14 ගතව මෙය පිළුණු වී යාමට මත්තෙන් ඌණ පූර්ණයක් එක් කිරීමේ අවශ්‍යතාවය මත මෙම සටහන සම්පාදනය වනු ඇත.

"දෙමළ ජනතාවට කිසිදු රැකවරණයක් ආන්ඩුව විසින් ලබා නොදෙන බව ඉතා පැහැදිලිය මෙම ඝාතනයන්ගේ ප්‍රධාන වගකිව යුත්තා වන්නේ රාජ්‍ය ආරක්ෂක හමුදාවන්ය"

"සිවිල් ජනයාට එරෙහිව මෙවැනි ප්‍රහාරයන් කරන්නේ වාකරේ ප්‍රදේශයෙන් ජනතාව පලවා හැරීමේ අරමුණින් යුතුව ඔවුන් හාමතට පත් කරමින් හා ඔවුන්ට වෛද්‍යාධාර ලබා නොදෙමිනි"

සුනන්ද දේශප්‍රිය "රාවයට" කියා තිබූ අන්දමට තිස්සනායගම්ට හිරේ යාමට තිබූ ආසන්නතම හේතුව අදාල "NORTH EASTERN MONTHLY" සඟරාවට සැපයූ ලිපි දෙකක වූ උක්ත ප්‍රකාශයන් දෙකය.

මේ වගේ නින්දිත කතා කියන එවුන් හිරේ දමා මදිය ඕකුන්ව එල්ලා දැමිය යුතුයි කියා ඉහත ප්‍රකාශ දෙක කියවා යමෙකුට සිතේ නම් එය සිතූ මහා උගත් මොලයෙන් මෙයත් කල්පනා කර බලන්න. සාමාන්‍ය ත්‍රස්තයෙකු පමණක් නොව (දේශප්‍රේමීන්ට අනුව ) නැගෙනහිර කොටි නායකයා වූ කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් හට ඇමති කමක් දී ජනතාවගේ සල්ලි කෑමට අවස්ථාවක් ලබාදී තිස්සනායගම්ට හිරබත් කෑමට දීම ඔබ කොතරම් සාධාරණීකරණය කරනවාද?. අදාල සඟරාවේ ප්‍රකාශක ජෙසීහරන් හා ඔහුගේ බිරිඳ වූ නිසා අල්ලාගත් වලර්මදී තාමත් ත්‍රස්ත විමර්ශක ඒකකය භාරයේය.ඔවුන්ටත් මේ ඉරණමම අත්වනු නිසැකය.

අවසානයේ මම මේ තේරුමක් නැති අධිකරණයේ තීන්දුවකට විරුද්ධ වෙමි. අධිකරණය කුමක් පෙන්වා දුන්නද ලංකාවේ ඇත්තේ රාජාණ්ඩුවකි. අධිකරණයද රාජාධිකරණයකි. වෙනසකට ඇත්තේ නඩු අහන්නේ රජතුමා නොවීමය.
නමුත් තීන්දුව නම් ස්ථීරය.

9/02/2009

මමත් කොටියෙක්ද දන්නෙ නෑ...

නපන් මගේ ඇස් දෙකට පිහියෙන් ..
මේවා මට පේනවට...
ඇදප
න් මගේදිව එලියටම...
මේවා කියවනවට...
කපපියව් මගේ අත් දෙක...
මේවා ගැන ලියනවට..
අනේ දෙවියනේ...
මමත් කොටියෙක්ද දන්නෙ නෑ...


මාධ්‍යවේදියාට නිදහසේ අදහසක් ප්‍රකාශ කරන්න බැරිනම් මාධ්‍ය නිදහසක් තියෙන්නෙ අහවල් මගුලකටද..
හරියට හරි..