2/12/2010

කුමන්ත්‍රණය හා පොදු සතුරා.

අවුරුදු තිහක් පුරා පැවති යුද්ධය ප්‍රභාකරන්ගේ ඝාතනය සමග අවසන්ව ගොසිනි. දකුණේ ජනතාව සැනසිල්ලේ කිරිබත් කමින් රතිඤ්ඤා පත්තු කරමින් පට්ට ආතල් එකක් ගත්තේ ප්‍රභාකරන් මියගිය නිසාය. දකුණේ ජනතාව ප්‍රභාකරන් කෙ‍රෙහි‍ තිබූ වෛරය ප්‍රභාකරන්ගේ මරණය මතින් බජව් දමා පිටකරගත්තේ ඒ බුර බුරා නැගුන වෛරයයි.
 දේශපාලනය විසින් අපව සවිඥානිකව හෝ අවිඥානිකව ප්‍රභාකරන්ට වෛර කිරීමට පොළඹවන්නේ ඇයි යන්න වෙනම සාකච්ඡා කල යුතු කරුණකි. කෙසේ හෝ සියළු සිංහල ජනතාවට එරෙහිව ප්‍රභාකරන් උතුරේ සිට කුමන්ත්‍රණය කලා යන සංකල්පය සියළු දකුණු වාසීන්ගේ හිතේ පැලපදියම් වී ඇති නිසා තමන්ට විරුද්ධව කුමන්ත්‍රණය කල ප්‍රභාකරන් ඔවුන්ගේ පොදු සතුරා විය.
 ප්‍රභාකරන්ද මෙය සිදුකලේය. ප්‍රභාකරන් ඊට දඩමීමා කරගත්තේ හමුදා ක්‍රියාකාරකම්ය. මෙසේ උතු‍රේ වැසියන්ට දකුණු නායකයින්ද දකුණේ වැසියන්ට ප්‍රභාකරන්ද ලෙස මුළු ලංකාවේම වැසියන් තුල පොදු සතුරෙකු රෝපනය දෙපාර්ශවයේම නායකයින් විසින් සිදුකරන ලදී. ඒ පිලිඹඳ තර්කනයක්ද නොමැත.
දැන් දකුණේ වැසියන්ගේ පොදුසතුරා මියගොස්ය. උතුරේ ජනතාවගේ ඡන්ද අයිතිය බාල්දු වී ගොස්ය. ඒ ඔවුන්ගේ නියෝජනය ලෙස ඔවුන් බහුතරය විශ්වාස කල LTTE සංවිධානය මර්දනය කිරීමට මූලිකව දායකත්වය සැපයූ පුද්ගල චරිත දෙකක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමගය.
ඒ හා සමගම රටේ දේශප්‍රේමී නියෝජනය ලෙස පෙනීසිටි මහින්ද රාජපක්ෂ ලංකාවේ බහුතරය සුළුජාතීන් හා ආගම් පැතිර තිබූ කොළඹ, උතුර, වන්නි, නුවරඑළිය, මහනුවර, ගාල්ල, පුත්තලම, හා නැගෙනහිර පෙදෙස් පරාජයට පත්විය.මහින්ද ඇත්තටම හොර කලානම් උක්ත ආසන හා දිස්ත්‍රික්ක පරාජය වූයේ ඇයි?
 මෙම ප්‍රස්තුතය සමග පොදු සතුරා සංකල්පය ඈඳීමට තර්කයක් ගොඩනැගීමේ හැකියාවක් ඇති නමුත් තම තම නැණ පමණින් කරුණු වටහාගැනීමට පාඨකයාට බාරදී මම ජාමේ බේරාගනිමි.මෙය කුමන්ත්‍රණයක්ද, ජනතා කැමැත්තද, අහවල් එකද කියා මට නිශ්චිතව කරුණු දැක්වීමට තරම් ප්‍රබල සාධක මා සතුව නැත. එය එසේ වීනම් මම සාධක සහිතව කරුණු දැක්වීමට මැලි නොවෙමි.