Showing posts with label රජතුමා. Show all posts
Showing posts with label රජතුමා. Show all posts

3/15/2010

ආදරණීය ප්‍රගීත් අන්කල්

ආදරණිය ප්‍රගීත් අන්කල්,

ප්‍රගීත් අන්කල් කවදාක හරි මේ ලිපිය දකීවි කියන විශ්වාසය තියාගෙන මම මේ ලිපිය ලියන්නේ. මාස කිහිපයකට පළමුවෙන් ඔබ මට ලියූ ලිපිය නැවත 'ලංකාදිප' පත්‍රයෙහි පළවී තියෙනවා මම දැක්කේ අහම්ඛෙන්. ඔබ ඒ ලිපිය ඒව්වේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ ඔබ පළමුවරට පැහැරගෙන ගොස් නිදහස් කළ පසුවයි. අවුරුදු විස්සකින් පසු පළමු වතාවට-
-මම ප්‍රගීත් අන්කල්ට ලියන්න පෙළඹුණේ ඒ සිදුවීම විසින් මා තුළ ඇති කළ කම්පනයයි. අවුරුදු විස්සක් කොයි තරම් දිගු කාලයක්ද?
ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගිය බවට ඒ අගොස්තුවේදී පුවත් පළ වී තිබුණත් ඔබ මා කුඩාකළ දැන සිටි ප්‍රගීත් අන්කල් යැයි මට එක්වරම නොසිතුනේ ළමා විය ගැන මගේ මතකය දුබල නිසා විය හැකියි. ඒත් ඔබේ පින්තුරයක් අහම්ඛෙන් දැක්කාම මට ඔබ කවුදැයි යන වග මතක් වූයේ ඔබේ රුව මගේ ළමාවිය ගැන ඉතිරිව ඇති මතක කැබැලිති අතර විසි වසක් නොනැසී තිබූ නිසායි. ඔබට කතා කළ යුතුයැයි කියන හැඟීමෙන් දින කිහිපයක් තැවුල් විඳි මම අසීරුවෙන් ඔබේ දුරකතන අංකය සොයාගත්දා කොයිතරම් සතුටු වූවාද? ඔබට ලියූ පළමු ඊ මේල් පණිවුඩය මම ලිව්වේ වේදනාබර සතුටකින්. ඔබ විඳි දුක් ගැහැට ගැන ඇසීමෙන් හටගත් වේදනාව යටකොට ළමා වියේ මා දැන සිටි 'ප්‍රගීත් අන්කල්'ට විසි වසරකින් පසු ලියන්නට ඉඩ ලැබීම සතුට කොයිතරම්ද?
ඒත්, නැවතත් ඔබ අතුරුදහන් ප්‍රගීත් අන්කල්!
මේ ලියන මොහොත වනවිට ඔබ ගැන තොරතුරක් නැතිව හරියටම දින 30ක්. ඔබ ගැන සිත නිවෙන පුවතක් දැකීමේ නොමැඩිය හැකි ආශාව මේ දවස් මුළුල්ලේ මා හැර නොයා රැෙඳන්නේ මගේ ළමා කාලය පිළිබඳ ඇති පී්‍රතිමත් මතකයන් අතර ඔබ අදත් ජීවමාන නිසායි. ඔබ ලියා තිබුණා වගේම මම අද, මගේ තාත්තාගේ ඔබ වැනි ආදරණීය මිතුරන්ගේ සෙනෙහස විඳ හැදී වැඩුණු ඒ පුංචි දැරිය නොවේ. සමාජය ගැන දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙක්. නමුත් දෙවෙනි වතාවේත් අතුරුදහන් වූ ඔබ ගැන යමක් කරන්නට අපි කිසිවෙකු සමත් වී නැහැ. ප්‍රගීත් අන්කල් මට ලියූ වචන මතකද? අද තියන භීෂණකාරීත්වය ගැනත්, ඔබ වැන්නන්ගේ අවදානම් ඉරණම් ගැනත් ඒ ලියූ හැම වචනයක්ම මට කට පාඩම් වන තරම් මම ඔබේ ලියුම කියවා තිඛෙනවා. නමුත් නැවතත් ඔබව පැහැරගෙන යන තුරුත්, ඉන් පසුත් අපට කළ හැකිව ඇති දේකොයිතරම් අල්පද?
ප්‍රගීත් අන්කල්, මම ළමා කාලයේදී අත් දුටු අතීත භීෂණයට වඩා අද භීෂණකාරීත්වය වෙනස් කියා ඔබ ලියා තිබූණා මතකද? ඔබ නිදහස්ව ආ දවස්වල ලියූ ඒ වචනවල බැරෑරුම්කම මට දැනෙන්නේ දැන්. මගේ ජිවිතයේ අඳුරුතම කාලය වූ 88-89 සමයේ මාත් - අක්කාත් පණ පිටින් මළවුන් බවට පෙරළු භීෂණයෙන් මට කිසි කලක ගැළවුමක් ලැඛෙතැයි මම හිතන්නේ නැහැ. නමුත් විසි අවුරුද්දකට කලින් ජනතා විමුක්ති පෙරමුණෙන් ඝාතනය කළ ප්‍රතිපත්ති ගරුක මිනිසෙකු වූ මගේ තාත්තා ගැන මතකයෙන් පෑරෙන අපේ ජීවිත සුවපත් කරන්නට උදව් කළ ප්‍රගීත් අන්කල් වැනි ආදරණීය කාරුණික මිනිසුන්ට විසි අවුරුද්දකට පසුවත් ලංකාව අනාරක‍ෂිත තැනක් වන්නේ ඇයි?
ඒ අතීත ළමා කාලයේ මතකය තවමත් සිහිනයන් වගේ. ප්‍රගීත් අන්කල් අපේ ගෙදරට එන්නේ 80 වැඩ වර්ජනයෙන් පස්සේ. සාලයේ වාඩිවී තාත්තා එක්ක දොඩමළු වන සිහින් සිරුරක් ඇති ඒ ප්‍රගීත් අන්කල් මට තවමත් මතකයි. අපි ඉගෙනගත් ඌව කරඳගොල්ලේ පුංචි ඉස්කෝලයට පුස්තකාලයක් හදන්න තාත්තා එක්ක මහන්සි වුණු ඒ දවස් අන්කල්ට මතකද? ඉස්කෝලේ ළමයින්ට බුදුන් වඳින්නට කියා අපේ ගෙදර ඉස්සරහ තියාගෙන අන්කල්ගේ අතින් නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමාවට අදත් ඒ ඉස්කෝලයේ දරුවන් වඳිනවා ඇති. නොදන්නා දුර ඈත ගමක, නොදන්නා මිනිසුන්ගේ දරුවන්ට වඳින්නට රෑ දවල් වෙහෙස වී ඒ බුදු පිළිමය අඹන්නට අන්කල් මහන්සි වූ දවස්වල මගේ තාත්තා ඒ අසළට වී බලා ඉන්නා විදිය මේ ලියන මොහොතෙත් මගේ හිතේ දුක්බර රූපයක් වී ඇෙඳනවා. විසි අවුරුද්දකට පසුව පවා ඒ දුප්පත් ඉස්කෝලයේ පියස්ස යටට එකතු වෙන දරුවන්ට වඳින්නට බුදු පිළිමයක් නෙලු නොදන්නා මිනිසා කොළඹ වීදියක හිටි ගමන් අතුරුදහන් වූ බව කරඳගොල්ලේ දරුවන් කෙසේ නම් දැනගන්නද?

ආදරණීය ප්‍රගීත් අන්කල්,
කිසිදාක අමතක නොවෙන ඒ අඳුරු අතීතය මැද දිලෙන පහන් ආලෝකයක් වැනි ඔබේ මනුෂ්‍යත්වය ගැන මේ ලියූ සියල්ලට වඩා අමතක නොවෙන තවත් දෙයක් මම ලියන්නම්. තාත්තා මුහුණ දුන් රුදුරු මරණයෙන් පසුව භීතියෙන් තැතිගත් නෑ හිත මිතුරන් බොහෝ අය අපේ තාත්තාගේ අළු පවා තියා ගන්න බිය වුණු කාලයක් ඒ. කුඩාවියේ සිටි අක්කාට හෝ මට තාත්තාගේ අවසන් මොහොත පවා දකින්නට ඉඩක් ලැබුණේ නැහැ. අපි උස් මහත් වී වැඩිහිටියන් වූ දවසක අපට දෙන්නට අපේ තාත්තාගේ අළු ළඟ තබාගෙන පරිස්සම් කර දෙන්නට තරම් හදවතක් හා ධෛර්යයක් තිබුණේ ඔබට බව මම දැනගත්තේ ගොඩාක් පසු කාලයකයි. නමුත් ඒ භීෂණයේ කුණාටුවෙන් බිඳී විසිරුණු කැදැල්ලකින් විසිව තැනින් තැන හැදී වැඩුණු අක්කාත්, මමත් ඔබ හමුවන්නට ප්‍රමාද වූ නිසා, ඔබ ඉතා ගෞරවණීය විදියට මගේ තාත්තාගේ අළු කැලණි ග‍ෙඟ් පා කළ බවත් මම දැනගත්තේ ඒ කාලයේදීයි. කොළඹ වීදියක මහ රැයක අතුරුදහන් වූයේ ඒ තරම් උතුම් මනුෂ්‍යත්වයෙන් හෙබි දුර්ලභ මිනිසෙකු බව මිනිස් තෙතමනයක් නොදැනෙන සමාජයකට කියා තේරුම් කර දෙන්නට මට කවදා නම් පුළුවන් වේවිද ප්‍රගීත් අන්කල්?

ආදරණීය ප්‍රගීත් අන්කල්,
මගේ තාත්තා එනතුරු මග බලා ඉන්න තිබුණා නම් ජීවිතය කෙළවර වන තුරුම අපේක‍ෂා අත් නොහැර මට බලා ඉන්න හයිය තිබුණා. භීෂකයින්ගේ දෑතින් විකෘති කළ මගේ තාත්තාගේ කෙසඟ සිරුර ඒ බලාපොරොත්තු මගෙන් උදුරා දැමුවා. ඒත් ප්‍රගීත් අන්කල් නැවත එන බවට අද මගේ විශ්වාසය ශක්තිමත්. කිසි දවසක දැක නැති අන්කල්ගේ පවුලේ අය සමග අන්කල් නැවත එනතුරු බලා ඉඳින මිනිසුන් අතර මමත් රැඳී ඉන්නේ ඒ නිසායි. ඒ ආ දවසක සන්සුන් සිතින් අන්කල් මේ ලිපිය කියවන බව මට විශ්වාසයි. නැවත පෙරළා එන්නට ප්‍රගීත් අන්කල්ට ශක්තියක් වෙන්නේ අපි හැමෝම තුළ ඇවිළෙන ඒ විශ්වාසයයි.
මට ලෝකයක් තරම් ආදරය කළ මගේ තාත්තාගේ අවසන් අළු බඳුන අපි වෙනුවෙන් රැකගන්නට හදවතක් තිබූ ඔබ මගේ තාත්තාගේ ආදරය විසින්ම රැකදෙන බව මට ඒකාන්තයි.

මම, නන්දේගේ දුව

Ruwandi Neranjala
රුවන්දි නෙරංජලා

2/12/2010

කුමන්ත්‍රණය හා පොදු සතුරා.

අවුරුදු තිහක් පුරා පැවති යුද්ධය ප්‍රභාකරන්ගේ ඝාතනය සමග අවසන්ව ගොසිනි. දකුණේ ජනතාව සැනසිල්ලේ කිරිබත් කමින් රතිඤ්ඤා පත්තු කරමින් පට්ට ආතල් එකක් ගත්තේ ප්‍රභාකරන් මියගිය නිසාය. දකුණේ ජනතාව ප්‍රභාකරන් කෙ‍රෙහි‍ තිබූ වෛරය ප්‍රභාකරන්ගේ මරණය මතින් බජව් දමා පිටකරගත්තේ ඒ බුර බුරා නැගුන වෛරයයි.
 දේශපාලනය විසින් අපව සවිඥානිකව හෝ අවිඥානිකව ප්‍රභාකරන්ට වෛර කිරීමට පොළඹවන්නේ ඇයි යන්න වෙනම සාකච්ඡා කල යුතු කරුණකි. කෙසේ හෝ සියළු සිංහල ජනතාවට එරෙහිව ප්‍රභාකරන් උතුරේ සිට කුමන්ත්‍රණය කලා යන සංකල්පය සියළු දකුණු වාසීන්ගේ හිතේ පැලපදියම් වී ඇති නිසා තමන්ට විරුද්ධව කුමන්ත්‍රණය කල ප්‍රභාකරන් ඔවුන්ගේ පොදු සතුරා විය.
 ප්‍රභාකරන්ද මෙය සිදුකලේය. ප්‍රභාකරන් ඊට දඩමීමා කරගත්තේ හමුදා ක්‍රියාකාරකම්ය. මෙසේ උතු‍රේ වැසියන්ට දකුණු නායකයින්ද දකුණේ වැසියන්ට ප්‍රභාකරන්ද ලෙස මුළු ලංකාවේම වැසියන් තුල පොදු සතුරෙකු රෝපනය දෙපාර්ශවයේම නායකයින් විසින් සිදුකරන ලදී. ඒ පිලිඹඳ තර්කනයක්ද නොමැත.
දැන් දකුණේ වැසියන්ගේ පොදුසතුරා මියගොස්ය. උතුරේ ජනතාවගේ ඡන්ද අයිතිය බාල්දු වී ගොස්ය. ඒ ඔවුන්ගේ නියෝජනය ලෙස ඔවුන් බහුතරය විශ්වාස කල LTTE සංවිධානය මර්දනය කිරීමට මූලිකව දායකත්වය සැපයූ පුද්ගල චරිත දෙකක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමගය.
ඒ හා සමගම රටේ දේශප්‍රේමී නියෝජනය ලෙස පෙනීසිටි මහින්ද රාජපක්ෂ ලංකාවේ බහුතරය සුළුජාතීන් හා ආගම් පැතිර තිබූ කොළඹ, උතුර, වන්නි, නුවරඑළිය, මහනුවර, ගාල්ල, පුත්තලම, හා නැගෙනහිර පෙදෙස් පරාජයට පත්විය.මහින්ද ඇත්තටම හොර කලානම් උක්ත ආසන හා දිස්ත්‍රික්ක පරාජය වූයේ ඇයි?
 මෙම ප්‍රස්තුතය සමග පොදු සතුරා සංකල්පය ඈඳීමට තර්කයක් ගොඩනැගීමේ හැකියාවක් ඇති නමුත් තම තම නැණ පමණින් කරුණු වටහාගැනීමට පාඨකයාට බාරදී මම ජාමේ බේරාගනිමි.මෙය කුමන්ත්‍රණයක්ද, ජනතා කැමැත්තද, අහවල් එකද කියා මට නිශ්චිතව කරුණු දැක්වීමට තරම් ප්‍රබල සාධක මා සතුව නැත. එය එසේ වීනම් මම සාධක සහිතව කරුණු දැක්වීමට මැලි නොවෙමි.

12/08/2009

මාධ්‍ය එල්ලා මිය යා යුතුව ඇත


වර්තමානයේ මිනිස් දිනචරියාවේ මූලිකාංගයක් බවට රූපවාහිනිය පත්වී ඇත. රූපවාහිනිය තරම් නොවූවත් තාමත් පුවත්පත, ගුවන්විදුලිය යන මාධ්‍යවලට මිනිස් ජීවන රටාවට යම් වෙනසක් කලහැකියැයි පැවසුවොත් එය අතිශයෝක්තියක් නොවේ.
ප්‍රවේශය ඇල් මැරුණු නමුත් දෙවරක් සිතිය යුතු මාතෘකාවක් පිළිඹඳ කතිකාවතක් ඇතිකිරීමටය. සිද්ධිය ලෙස මුලින්ම ගෙනහැර පානුයේ සිසුවියන් තිදෙනෙකු කනේරු ඇට කා සියදිවි නසාගැනීමය. එතැනින් කාවින්ද්‍යා ටයි පටියකින් ගෙල වැල ලා මියයන අතර එතැන්සිට සිසු සිසුවියන් මෙතෙක් නොවූ විරූ අයුරින් සිය දිවි නසාගෙන ඇත.
මින් පෙර අතරින් පතර මෙවැනි සිද්ධි පිළිබඳ වාර්තා වුවත් එක දිගට පසුකාලීනව මෙය දිගින් දිගට සිදුවීමට යම් හේතුවක් තිබිය යුතුය. අදාල හේතුව ලෙස මට පෙනීයනුයේ වගකීමකින් තොර වාර්තාකරණයයි.මෙය මුල් සිද්ධියේදී එතරම් දරුණු ලෙස කල එලි නොබැස්සත් කාවින්ද්‍යාගේ මරණය වාර්තාකරණයේදී නම් ඛේදජනක අන්දමට සිදුවිය.
කාවින්ද්‍යා මිය ගියේය. මගේ වෑයම ඇයව අපකීර්තියට පත් කිරීමට නොවේ. නමුත් මාධ්‍ය ඇයව ඉතා අසම්භාවී ලෙස පාරිශුද්ධත්වයට පත් කලේ කාවින්ද්‍යාගේ ගුරුන්ට එලව එලවා පහර දෙමිනි අද වන විට එහි තත්වය ගැන මාධ්‍ය හාංකවින්සියක් නොදනී. ඔවුන් දන්නේ සිය ප්‍රවෘත්තිය විකුණාගැනීමට පමණි.
ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් කාවින්ද්‍යාගේ සමවයස් සිසුන් තුල කාවින්ද්‍යා කල ක්‍රියාව නිරවද්‍ය වන අතර කාවින්ද්‍යා මාධ්‍ය විසින් සුද්ද කල ආකාරයට ඔවුන්ද මාධ්‍ය වෙතින් රැකවරණයක් බලාපොරොත්තු වේ. ඒ නිසා ඔවුන් සිය දිවි නසා ගනී. ලංකාවේ දරුවන් නිරමාණය වී ඇත්තේද එම විදිහටය ලංකාවේ අවුරුදු 15 යනු තනිව තීරණ ගත හැකි වයසක් නොවේ කොටින්ම අවුරුදු 15 දරුවෙකු යනු තාම බබෙකි.
ලංකාවේ දැනට මාධ්‍ය සදාචාරයක් නැත.ඇත්තේ මාකටිං සදාචාරයකි. එසේ නැතිනම් මම දන්න මාධ්‍ය සදාචාරය වෙන එකක් වීමට වෙන්නටද පුළුවන. එහිදීලා මාධ්‍ය ඉටුකරනුයේ සිය මාකටිං මෙහෙවාර මිස ඔවුන්ගෙන් සැබැවින්ම ඉටුවිය යුතු සමාජ මෙහෙවර නොවේ.මාධ්‍යයෙන් සමාජය බලාපොරොත්තු රජතුමාට කඩෙ යාම හෝ හුළඟ යන අතට රුවල ඇදීම නොවේ.මාධ්‍ය සැබැවින්ම අවශ්‍ය වනුයේ මනුෂ්‍යාගේ යහපත උදෙසාය.
තවදුරටත් මාධ්‍ය පවතින්නේ මේ ආකාරයට නම් සමාජය විසින් මාධ්‍ය එල්ල දැමීමට පෙර මාධ්‍ය එල්ලී හෝ කනේරු ඇට කා සියදිවි නසාගැනීම යහපති.

8/18/2009

අහෝ ඛේදයකි....!


පෘතුගීසීන් ලංකාව යටත් කරගෙන ලංදේසීන්ට පිංසිද්ද වෙන්නට උන් ලංකාවෙන් නෙරපා හරින ලදී.
එහෙම පැලපදියම් වෙන්න දඟලපු ලංදේසීන්‍ව ඉංග්‍රීසීන් එලවලා දැමූ පසු ලංකාවේ අන්තිම රජතුමාත් ලංකාවෙන් පිටුවහල් කර දැමීමට තරම් ඉංග්‍රීසීන් කාරුණික විය.
එහෙව් ලංකාවට නැවත රාජකීය නාමය මහින්ද රාජපක්ශ ශ්‍රීමතානණ් හා ඔහුගේ ලෙදර් සෙරප්පු ඔපදමන ගෝල බාලයින් විසින් නැවත රැගෙනවිත් පූජා කරවන ලදී. නව රජතුමා වූයේ මහින්ද රාජෝත්තමයාණන් වහන්සේය. පෙරලුන පිට හොඳයි කියන ජාතියේ අන්ධ දේශප්‍රේමියන් කුමක් කීවද ලංකාව නැවත රාජකීය පාලනයකට යටත් වී ඇත්තාහ. ආදී ලංකාවේ රාජ නාමයට විරුද්ධව වචයක් දෙඩීම හෝ බෙල්ල ගහලා යන වරදක් වූ නිසා රජතුමා කියන හැම මගුලටම එසේය දේවයන් වහන්ස කීමට ඇමතිවරුන් බිහිවී තිබුනි. වාසනාවකි අපිටත් දැන් රජෙකු බිහිවී ඇත. ඇමතිවරුද රජතුමාගේ දැමෙන් සෙමෙන් ගෙනයන රාජ්‍ය පාලනයට මනා සහයක් ලබා දෙන්නහුය. සතුට නිමක් නැත්තේය.
එතනින් රට වැසියන්වෙත හැරෙමු..
පසුගියදා රජතුමාට එරෙහිව කෙලියා යන වචනය යොදාගැනීම වෙනුවෙන් සාපරාධී අපහාස නීතිය යටතේ හිරේ දැමූ රට වැසියන් දෙදෙනා ඔවුනගේ නීතීඥයා විසින් ලංකාවේ රාජ්‍ය පාලනයක් නැති බව ඔප්පු කිරීමෙන් පසු නිදහස් කරන ලදී. ඇත්තටම එතකොට අපිට රජෙක් නැද්ද? එහෙනම් ඇයි ඔවුන්ව රාජපුරුෂයින් අල්ලගෙන ගියේ. ගෝමස්ද මේ රටේම වැසියෙක් බැවින් ගෝමස්ට හැඟීගියේ ලංකාවේ කොටසකට රජෙක් ඇතිවාක් මෙන්ම කොටසකට රජෙක් නැති බවය. රජෙකු ඇතැයි කියනාවුන් දේශප්‍රේමීන් වන්නා සේම රජෙකු නැතැයි කියනාවුන් දේශ ද්‍රොහීන් වන්නාය. එම හේතුව කරණකොටගෙන ලංකාවට රජෙක් නැතැයි කියන්නාවූ පිරිස රාජපුරුෂයින්ගෙන් කසපහර කා ෂොපින් බෑග් ගීලදමා මරුමුවට පත්විය යුතුය. රාජපුරුෂයින් ආක්‍රමණිකයින්ගෙන් රට මුදවා ගත් බැවින් වැසියෝ ඔවුනට සේවය කල යුත්තාහ ඔවුන්ව ඉවසිය යුත්තාහ.

ප්‍රීතී ප්‍රීතී..

එතකොට අපිටත් රජෙකු ඇත්තේ කියලා පාරම් බෑවට රජෙක් නැද්ද.
අහෝ ඛේදයකි....!